10/09/2026
ලංකාවේ ධීවර ප්‍රතිපත්තිය සහ කලාපීය සහයෝගිතාව පිළිබඳ ප්‍රධාන යෝජනා රැසක් ඉදිරියට ...
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේ පැවැත්වෙන ධීවර කමිටුවේ 37 වැන ධීවර කාරක සභා සැසිය (COFI 37) ඇමතූ ශ්‍රී ලංකාව; සිය ජාතික ධීවර ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම, සුළු පරිමාණ ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සහ කලාපීය ධීවර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ප්‍රධාන යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.
ඉතාලියේ රෝම නුවර සැප්තැම්බර් 7 සිට 11 දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවේදී, ලෝක ධීවර හා ජලජීවී වගාවේ තත්ත්වය පිළිබඳ SOFIA 2026 වාර්තාව, නීති විරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් (IUU) ධීවර කර්මාන්තය පාලනය කිරීම, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ අවම කිරීමේ පියවර, මෙන්ම සුළු පරිමාණ ධීවර හා ජලජීවී වගාව සඳහා සහය දැක්වීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් සාකච්ඡාවට භාජනය වේ.
මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, මෙතෙක් ගෙන ඇති පියවර සහ අනාගත සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රධාන අදහස් ඉදිරිපත් කළේය.
එමෙන්ම, බෙංගාල බොක්ක කලාපීය රාජ්‍යයන්ගේ සංවිධානය වන BOBP-IGO හි නායකත්වය වෙනුවෙන් ද ශ්‍රී ලංකාව පෙනී සිටි අතර; ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාමාජික රටවල් අතර කලාපීය ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණි.