12/05/2021
**** දේපළක් හෝ ඉඩමක් මිලදී ගැනීමේදී හෝ ඉඩමක් උකස් කිරීමේදී වැදගත් වන කරුනු*****
ඉඩමක් මිලදී ගැනීම කියන්නේ නිවසක සිහිනය දකින්නෙක් විසින් මූලිකවම අඩිතාලම දැමිය යුතු නිසි තැන. අපි මේ කතා කරන්නේ ඉඩමක් හිමිව ඇති හෝ උකස් කිරීමක් යටතේ ඉඩමක්/නිවසක් හිමිකර ගැනීමට සිහින දකින්නෙකුට වැදගත් වන මූලික කරුණු කිහිපයක්.
ගෙයක් හදන්න අපි මුලින්ම කරන්නේ ඉඩමක් මිලදී ගැනීම. එහිදි ඉඩමක් බාහිර ස්වරූපයෙන් හොදද /ජාමිතික ස්වරූපය /ගහකොළ තියෙනවද/වතුර තියෙනවද/පාරට ළගද/ ප්‍රදේශය අනුව ලාභයිද/ ප්‍රවේශ මාර්ගය/විදුලිය/ රැහැන් සහිත රහිත සන්නිවේදන පහසුකම් වගේ කරුණු ගැන තමයි සාමාන්යසයෙන් අපි සැලකිලිමත් වෙන්නේ. එහෙම බලන ඉඩම මිලදී ගැනීමේදි සමහරු නීතීඥ සේවයක් ලබා ගෙන ඉඩමේ නෛතික පිරිසිදුකම පරීක්ෂා කරල බලනව. ඒකට කියන්නේ ඉඩම් කන්තෝරු පරීක්ෂාව, පත්තිරු පරීක්ෂාව හෙවත් හිමිකම් පරීක්ෂාව. තව සමහරු දෙමව්පිය උරුමෙ/ නෑදෑයෙක්ගෙන් ගන්නෙ/දන්න කියන කෙනෙක්නේ විකුණන්නෙ/මේ ගාණට මෙහෙ ඉඩම් හම්බවෙන්නෙ නැහැ ආදි වශයෙන් සහ අමතර වියදමක් දරලා පරීක්ෂා කරව ගන්න දෙයක් නෑ කියල හිතල පැවරුම් ඔප්පුවක් ලියාගැනීම පමණක් කරනව.
යම් ඉඩමට ලගා වීමට ප්‍රධාන මාර්ගයක සිට අඩි 10 / 12 / 20 ආදි වශයෙන් අදාල පළාත් පාලන ආයකන වල රෙගුලාසි වලට යටත් පාරක් තියෙනවද ඒ පාර අපි මිලදී ගන්න දේපළ වෙනුවෙන් පවතිනවද යන්නත් සොයලා බැලිය යුතු වනවා. ඔප්පුවේ ඉඩම තිබුණට පාරක් ඔප්පුවෙන් පැවරී තියෙන්නත් අවශ්‍ය ම දෙයක්.
ඉඩමක පැවරුම පිරිසිදු නැතිනම් ඔබට කිසිසේත් නිවාස ණයක්/ඉඩම් ණයක් ලබා ගැනීමට හැකියාවක් නෑ. ලාබෙට ඉඩම් මිලදී ගත්ත වගේ නෙවෙයි අපි මෙහි පහත සදහන් කරන කරුණු වලින් අපොහොසත් ඉඩමක් නිතීය ඉදිරියේ වටිනාකමකින් තොර බව දැනගෙනම ඉඩමකට/නිවසකට ආයෝජනය කල යුතු වෙනව
පුද්ගලයෙක්ට ඉඩමක් හිමිවන අකාර කිහිපයක් තියෙනව.
👉උරුමයෙන්
👉මිලදී ගැනීමෙන්
👉ත්‍යාගයක් ලැබීමෙන්( ඥාතින් අතර පමණක් සිදුවන්නකි)
👉නඩු තීන්දුවකින් ආදි වශයෙන්.
මේ මොන ආකාරයකට දේපළක් හිමිවුනත් දේපලක ඉතිහාසය/පෙළපත පිරිසිදු විය යුතුයි. ලියවිල්ලේ ස්වභාවය කුමක් වුවත් එහි සදහන් පෙර ලියාපදිංචි අංකය(Prior Registration) ඉඩමක ඉතිහාසය හා වර්තමානය සොයන්න මගපෙන්වීම ක් දෙනවා. මේ දේ පරීක්ෂා කිරීම තමයි ඉඩම් කන්තෝරු පරික්ෂාවකින් කෙරෙන්නේ. සේවාදායකයින්ගේ අවශයතාවය අනුව නොතාරිස් සහ නීතිඥවරුන් ඔප්පු සකස් කර දුන්නත් පරීක්ෂාවෙන් තොරයි(search dispense) යනුවෙන් සදහන් කරමින් සේවාදායකයාට නොදැනීම තම වගකීමෙන් මිදුනත් අනාගතයේදි විකිනීමක දී උකස් කිරීමක දී ණයක් ගැනීමේදී ඉතාම අපහසු තාවයකට ලක්වීමට සිදු වෙනව. දේපලක් මිලදී ගැනීමේදී හෝ පවතින දේපළක් සම්බන්ධයෙන් සුලුවෙන් සිතන්න එපා. පරීක්ෂා විරහිත බවට සටහන් කල ඔප්පුවකින් ඔබට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. පසු අවස්ථාවක එය ලියා සහතික කළ නිතීඥවරයාට වගකීම පැවරීමටද හැකියාවක් නැහැ.
පිරිසිදු අතීතයක් නොමැති ඉඩමක් වුනත් පිරිසිදු කරගත හැකි ක්‍රම දක්ෂ නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙකුට පෙන්වා දිය හැකියි.
නීතිය ඉදිරියේ
👉සම්ප්‍රදායික ඔප්පු ලිවීමේ ක්‍රමය
👉 ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල හිමිකම් ලියාපදිංචිය(Title Registration)
නමින් ඔප්පු ලිවීමේ ක්රිම 02ක් ක්‍රියාත්මකයි. පළමු ක්‍රමයේදී ඉඩමක පෙළපත පරීක්ෂා කල යුතු වුවත් දෙවන ක්‍රමයේදී පැහැදිලි සෘජු අයිතිවාසිකමක් දේපලක හිමිකරුවෙකුට හිමිවන නිසා පෙළපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
ඉඩමක් මිලදී ගැනීමට හෝ උකස් කිරීමට ඔබ අදහස් කරන්නේ නම් මිලදී ගැනීමට පෙර පලමුවෙන්ම කළ යුත්තේ දේපලේ වර්තමාන හිමිකරුගෙන් විකිණිමට/උකස් කිරීමට ඇති ඉඩමට අදාල ඔප්පු පිටපතක් සහ ප්ලෑන/පිඹුරේ පිටපතක් ලබා ගත යුතුයි. ප්ලෑනක් නම් දේපළ උකසට/මිලදී ගන්නා අවස්ථාව වන විට වසර 10කට වඩා පැරණි නම් බලයලත් මිනින්දොරුවකු ලවා නැවත මැනීමක් හෝ පිටසනක්(endorsement) සිදුකර ගත යුතු වනවා. මෙහිදි දේපළ පවරන්නාට/වර්තමාන හිමිකරුට නිසි නිරවුල් නෛතික අයිතියක් තියෙනවද යන්න සොයා ගත හැකියි.(උකසකදී නම් මේ අදියරේ සමත් වුණා කියන්නේ ඉල්ලුම් කරන ණය ලැබුන වගේ තමයි).
ඉන්පසු මිලදී ගැනීමට අපේක්ෂිත මුදල කොපමණද යන්න ඔබ තීරණය කළ යුතුයි. මෙහිදී සැලකියයුතු වැදගත්ම කාරණාව වන්නේ ඉඩමක් හිමිකර ගැනීමකදී තෑගි/විකිණිමක් වේවා රජයට අනිවාර්ය න් ගෙවිය යුතු වන මුද්දර ගාස්තු බද්දක් පවතින බව. එය අදාල දේපළ තක්සේරු වටිනාකමින්
👉ත්‍යාගයකදී නම් 2%ක්ද
👉විකුණුමකදි 4%ක්ද වනවා.
මෙම මුදල් කිසිසේත්ම ඔප්පුවක් ලියා සහතික කරන නීතීඥ/නොතාරිස්වරයාගේ ගාසිතුව බවත් ඔබ දැනිය යුතුයි .
ඒ වගේම අදවන විට පවතින නීතීමය තත්වය අනුව ඉස්සර වගේ අඩුවෙන් මුද්දර ගාස්තු ගැසීම පිණිස දේපලේ වටිනාකම අඩුවෙන් දාලා ඔප්පු ලියන්න හැකියාවක් නැහැ. අද වන විට වර්තමාන වෙළද වටිනාකමට ඔප්පු ලියා සහතික කිරීම අනිවාර්ය යි. ඒසේ නොවන ඔප්පු ලියාපදිංචි නොවන බවත් ලියාපදිංචි වුවද පසුකාලීනව දඩයක්ද සමග හිග මුද්දර ගාස්තු ඔබෙන් අය කරවා ගැනීමට රජය දැඩි ලෙස කටයුතු කරන බවත් වරිපනම් ලේඛණයේ නම ඇතුලත් කර ගැනීමේදී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් අවදාරනය කරනවා.
ඒ අනුව ඉඩමක් මිලදී ගැනීමට පෙර පහත විස්තර හා ලේඛණ ලබා ගන්නේ නම් ඉතා වැදගත් වේවි.
01. මිලට ගැනීමට/උකස් කිරීමට අදහස් වන දේපළ සම්බන්ධයෙන් අවසානයට ලියූ ඔප්පුවේ පිටපතක්
02.පිඹුර/ ප්ලෑන/කැබලි කිරීමේ සටහන/නිවාස සැලසුම(අනුමත)
03.විකුණුම්කරුගේ නම,ලිපිනය,ජාතික හැදුනුම්පත් අංකය/පිලිගත් අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛණයක්
04.පැවරීම ඇටර්නි බලපත්‍රයක් මගින් සිදුවන්නේ නම් එහි පිළිගැනීම සහ ඇටර්නි බලකරුගේ දිවුරුම් පත්‍රයක්
05.අයිතියේ සාරාංශයක්/පෙළපත් සටහනක්/හිමිකම් වාර්තාවක්(title report)
06.විථිරේඛා සහතික(Street line certificate)
07.නොපවරා ගැනීමේ සහතිකය(non vesting certificate)
08.වරිපනම් අංකය හා බදු ගෙවීම පිළිබද විස්තර
09.හිමිකම් රක්ෂණයක් වෙතොත් පමණක් එය(Title insurance if any)
10.අනුකූලතා සහතිකය(certificate of conformity)
11.ගොඩනැගිලි රේඛා සහතිකය(Building line certificate)
12.පත්ඉරු/පිළිබැදුමි පත්‍රිකා (Extract Volume/folios)
මෙම ලියවිලි සියල්ල ඉඩමක වර්තමාන හිමිකරු විසින් ඉඩම මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉල්ලූ විටක ලබා දීමට කටයුතු සිදු කල යුතු වුවත් ප්‍රායෝගිකව ඉඩමක් මිලදී ගැනීමට අදහස් කරන පුද්ගලයා විසින්ම තම අවශ්‍යතාවයේ ප්‍රමාණය,කාලය සැලකිල්ලට ගනිමින් අදාල ගාස්තු වලට යටත්ව අදාල ප්‍රාදේශිය සභා වෙතින් මෙම ලියවිලි ලබා ගැනීම බොහෝ විට සිදු වේ.
අද වන විට එකම ඉඩම කිහිප දෙනෙකුට විකුණා ඇති අවස්ථා එමටයි.ඒ නිසා වංචාවකට අසුවීමට වැඩි කාලයක් යන්නෙ නැහැ.ඔබ වංචාවකට අසු නොවීමටයි මේ පිළිබද ඔබ දැනුවත් කරන්නේ. වැරදුනාට පසුව අනේ අපි දැනන් හිටියේ නෑ කීමට නීතිය ඉදිරියේ ඔබ, මම, අප සැමට හැකියාවක් නැත්තේ :
🌟🌟නීතිය නොදැනීම නීතිය ඉදිරියේ සමාවට කරුණක් නොවේ🌟🌟
යන වගන්තිය නිසාවෙනි !