12/05/2026
නින්ද යන්නෙ නැති එක දවසක මම කාමරේට වෙලා රේඩියෝ එක ටියුන් කර කර ඉද්දි හරිම ලස්සන කටහඬකින් ඇහුණා කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ,, වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා කියලා. ඇත්තමයි ඒක මිල්ටන් කියනවටත් වඩා ලස්සනට මට ඇහුණේ. මේ වෙලාවෙත් කොහේ හරි කඳු පාරක ගෙදරක හඳ පායපු මෙහෙම රෑක මාව අහගෙන නේද ඔයා ඉන්නෙ කියල එයා ඇහුවා.
මම හිටියෙ හැමවෙලේම වාහන හෝන් ඇහෙන කලබල නගරෙක උනාට ඒ රාත්‍රිය හරිම නිශ්ශබ්දයි. මට දැනුණා එයා කතා කරන්නෙ මට කියල. එයා තමා නාත් ඇහැළේපොළ.
රේඩියෝ එකේ ඒ පැය දෙකේ ප්ලේ වෙන හැම සිංදුවකටම නාත්ට කියන්න කතාවක් තිබුණා. ඒ කතාව කියද්දි මම නාත්ගේ මූණ මවා ගත්තා. පැත්තකට කොණ්ඩෙ පීරපු මූණ වටේට යංතමට රැවුල වවපු ලස්සන දිග හීන් ඇස් දෙකක් තියෙන උස මහත කොල්ලෙක් තමා නාත් කියද්දි මගෙ හිතේ මැවුණෙ. ඒක කොයිතරම් ඇත්තක්ද කියල මට හිතුනෙ සඳරේණු පත්තරේ මුල් පිටුවෙම නාත් ඇහැළේපොළගෙ ෆොටෝ එකක් ගිහින් තිබ්බ දවසේ. ඒ විතරක් නෙවෙයි පත්තරේ මැදපිටුවේ නාත්ගේ ඉන්ටවිව් එකකුත් ගිහින් තිබ්බා. හෙඩිම විදිහට දාල තිබ්බ ගෑනු ළමයින්ගෙන් දවසකට ලියුම් සීයක් විතර හම්බවෙනවා කියල. අනේ මන්දා ඒක දැක්කම මට ටිකක් විතර දුක හිතුනා. එක දවසක් වැඩසටහන කරද්දි නාත් කිව්වා ඕගොල්ලන්ටත් ලස්සන කවියක් කතාවක් තියෙනවනම් ස්වර්ණ වර්ණ ආදරේට කියන්න කියල. මට හිතුනා කවියක් ලියන්න.
‘ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
අත්සන් නොකර කඩදාසි කොළයක
දන්නවා එහෙනම් මම
ඔබ කැමති නැති බව බත්වලට
උණු තේ සමග මාරි විස්කෝතු ඕනෙ බව
බඳ වටා දෑත යවනකොට
සියලු වැඩ අතහැර මා වෙළිය යුතු බව
වේදනා ගැඹූරේත් හඬනගා සිනාසිය යුතු බව
ප්‍රේමයෙන් පමණක් ඔබ තුළට පිවිසිය යුතු බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
මුදු මාරු නොකරම
දන්නවා එහෙනන් ඔබ
බදාගෙන ඉඳගෙන වැඩ බෙදාගතහැකි බව
තේ එකක ඉතුරු අඩ රස බව
ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
කාටවත් නොකියම
පිංතූර නොමැතිව
එහෙනං සූට්කේසය අඩියට
එන්නෙ නෑ ලොකු මගුල් පිංතූරය
මේක තමා මම ස්වර්ණ වර්ණ ආදරේට මුලින්ම යවපු කවිය. මට අද වගේ මතකයි නාත් ඒක කියපු ලස්සන. නාත්ගේ කටහඬට ආස නිසාමයි මම එයා කියනේවා රෙකෝඩ් කරන්න පටන් ගත්තෙ. ඉස්සර පොත් වලින් පිරිච්ච මගේ කාමරේ කැසට් පීස්වලින් පිරෙන්න ගත්තෙ ඊටපස්සෙ. ඒ රේඩියෝ එකක මගෙ කවියක් ගිය පළවෙනි වතාව.
‘අපිට මේ ලස්සන කවිය එවල තියෙන්නෙ මිරිහානෙ සාගරී. සාගරී කොහෙද ඔයා මෙච්චර කල් හිටියෙ මේ ලස්සන කවි හිතත් තියාගෙන ‘ කියල නාත් ඇහුවා. ඊටපස්සෙ හැම සුමානෙම මම කවි ලිව්වා. එක දවසක් මට හිතුනා මැදිරියට කතා කරන්න. එදායින් පස්සෙ හැම දවසකම නාත් මට කතා කලා. චිත්‍රපටි ගැන සිංදු ගැන පොත් ගැන නාට්‍ය ගැන කතාකරන්න මහ ගොඩක් දේවල් නාත්ට තිබුණා. මම ඉන්නෙ කොයිතරම් පුංචි ලෝකෙකද කියල මට හිතෙන්න පටන් ගත්තෙ නාත් එක්ක කතා කරන්න ගත්තට පස්සෙ.
#96පෙම්_පුවතක්
#නාත්සාගරී_ආදර_කතාව