05/05/2020
මට හමු නොවුණු දෙවියන්!
--------------------------------------
නිල් පාට පුංචි ලස්සන මල් පිපුණ මල් ගහක රතු පාට මලක් පිපුණොත් අපිට කියන්න පුළුවන්ද ඒ මල අවලස්සනයි කියලා...එහෙම නැත්තම් ගැලපෙන්නෙ නෑ කියලා... එහෙම කියන්න අපි කාටවත්ම බෑ.. අපිට කියන්න පුළුවන් එකම එක දෙයයි.. ඒ මල අනිත් මල් වලට වඩා වෙනස් කියලා විතරමයි.
ඒත් මම මේ අකුරු එකතු කරන්නේ මල් ගැන කතාවකට නෙවෙයි මල් වගේ වුණත් මල් වලට වඩා හුගක් වටින අපේ පුංචි දරු පැටවු ගැන කියන්න... තවත් සරලව කියනවානම් පොඩිත්තෝ අතරෙත් ඉන්න දගකාරයෝ ටික ගැන කතා කරන්න
මේ අපි කතා යුතුම කතාවක්...මේක මගෙත් කතාව.. සමහරවිට ඔයා පණටත් වඩා ආදරය කරන ඔයාගෙ හුරතල් පැටියගේ කතාව වෙන්නත් පුළුවන්... මම පුංචි කාලේ බොහොම දගයි.. ගස් ගල් උඩ අදුරු වන ලැහැබ් වල පංතියේ ඩෙස් උඩ ඔය හැම නතැනකම මටම හදාගත්ත මොකක්දෝ ලෝකෙක මම ජීවත් වුණා... ඒත් මගේ වටපිටාවේ හිටපු හැමෝම කිවුවේ දැගලිල්ලයි මෝඩ කමයි ඇර මට වෙන කිසිම දෙයක් නෑ කියලයි.. එහෙම කියපු අයම සමහර වෙලාවට කියන්නේ මේ කෙල්ලට වෙලාවකට ගණ දෙවි නුවණ තියෙන්නේ..ඒත් නරි විසේ නිසා මොකවත් කරගන්න බෑ කියලා..මගේ පොඩි මොලේට ඔය මොකවත් දැනුනේ නෑ. දැනුණේ එකම දෙයයි.. මම බොහොම නරක ළමයෙක්.. මම වරදක් නොකලට මගෙන් වරදක් වෙනවාමයි...
මට තේරෙන්නේ නෑ කීකරු ළමයි හැදෙන්නේ කොහොමද කියලා.. මම ආසයි කීකරු ළමෙක් වෙන්න... ගෑණු ළමයි මල් වගේලු.. මටත් ඕනෙ මලක් වගේ වෙන්න... අනේ මට බැරිද එහෙම වෙන්න.. කොච්චරනම් එහෙම හිතෙන්න ඇතිද මට...
මට ඉක්මනට කේන්ති යනවා..දුක හිතෙනවා..කා ඉස්සරහවත් ඒ දුක කේන්තිය හංගගන්න බෑ...මම හයියෙන් අඩනවා..යාළුවන්ට වුණත් ගහනවා...ආදරේ නැතුව නෙවෙයි මම...මම කුරුල්ලන්ටත් ආදරෙයි..අම්මටත් මම ගැහුවා...ඒත් මම එයාට කොච්චර ආදරේද? එහෙම හිතපු දවස් කොච්චරද කියලා කියන්න බැරිතරම්..
මට අමතක කරන්නම බැරි නරකම දේ වුණේ හැමදාම මගේ දග වැඩ නිසා අම්මට තාත්තට ආච්චිට ඉස්කෝලෙ එන්න වුණ එක..දවසක් සර් කෙනෙක් මගේ වැරදි කිකියා අම්මට බණිනවා..අම්ම කියනවා "අනේ මට හදන්න බෑ සර්..මේ කෙල්ල හාම්බාන් කරන්න ලේසි නෑ..."අම්මා එහෙම කිකියා අඩනවා..මගේ වටේ හිටපු ළමයි ඔක්කොම මට බණිනවා..."බලන්න ඔයා හරි නෝටි...ඔයාගෙ අම්මි අඩනවා....ඔයාට හොද ළමයෙක් වෙන්න බැරිද ?"
අනේ මම එදා හොදටම අසරණ වුණා...මටමං ගැනම ලොකු තරහක් ආවා..වෙනස් වෙන්න හිතනවා...වෙනස් වෙන්න දේවල් කරනවා...ඒත් කිසිම දෙයක් දිගටම කරගෙන යන්න බෑ...කිසි දේක අවදානය තියෙන්නෙ නෑ... මම හැමෝටම වඩා වෙනස් ලස්සන නිල් මල් පොකුරක රතු පාට මලක්... මම එහෙම මලක් වුණේ ඇයි කියලා මම හුගක් කල් හෙවුවා... ඒත් මම වැඩිහිටියෙක් වෙනකල්ම දැනගෙන හිටියේ නෑ ඒක මගේ මොලේ තියෙන වෙනස් කමක් කියලා ... මගේ මොලය ඩොපමීන් හෝමෝනය නිපදවනවා අඩුයි කියලාවත් මට ADHD කියන මානසික වෙනස්කම තියෙන බවවත් මම දැනගෙන හිටියේ නෑ...අනේ!එදා කවුරුහරි ඒ ගැන දැනගෙන හිටියනව..එක සර් කෙනෙක්, ටීචර් කෙනෙක්,නෑයෙක්,යාළුවෙක් කවුරුහරි මගේ බොදවෙලා පේන පුංචි කාලය සුවදින් පුරවගන්න තිබ්බා...
මේ කතාව අකුරු වලට හැරෙන මේ මොහොතෙත් අහිංසක දගමල්ලක් කොහේ හරි අඩනවා ඇති කෝටු පාර කාලා...පාඩම් මතක නැති වෙලා බැණුම් අහලා...හිත රිදවගෙන ඇති අල්ලපුගෙදර ඇන්ටි එයාගේ පුතා එක්ක සෙල්ලම් කරන්න එන්න එපා කියලා...
මේ ලිපියෙන් හුදෙක්ම අකුරු වුණේ ADHD (attention Deficit Hyperactive Disoder) එහෙමත් නැත්තම් අධි ක්‍රියාකාරී දරුවන් ගැන සංවේදී සිතැඟි පෙලක් පමණයි... ආයෙමත් දවසක අපි ඒ ගැන තව ටිකක් ගැඹුරින් කතා කරමු... අනේ! එකම එක්කෙනෙක් දැණුවත් වුණොත් එයා එකම එක සමනල පැටියෙක් බේර ගත්තොත් එයාට ඔයාව දෙවියන් වේවි...මට හමු නොවුණ දෙවියන් එදාට ඔහු /ඇය දකීවි...
ප.ලි- යුනිකෝඩ් අමතකව ඇති බැවින් මග හැරුණු ව්‍යාකරණ පිළිබඳ සමාවන්න
..🌸වීණු🌸