ගී පද - Gee Pada - Lyrics

ගී පද - Gee Pada - Lyrics ඔබේ සිතට එන, හදවතට දැනුනු ගී සිතුවිල්ල....

10/05/2022

නිදහස් මිනිසුන් හැමවිටම සාමයේ මාවත තෝරා ගනී. නිදහස් මිනිසෙක් වන්න. අරමුණ කරා තව බොහෝ දුර යා යුතුව ඇත.

ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ...
25/12/2020

ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස හූරගෙන වැටෙන වැහි බිංදු තඹ සතේකට මායිම් නොකර. පාරේ යන අනිත් හැමෝම කුඩයක් යටින් ඇවිදන් යද්දි මං විතරක් කඩාහැලෙන වැස්සට නිරුවත් උනා. ඒක දැකපු අය කොහොම හිතුවද කියලා නං මම දන්නෙ නෑ ඒත් මං ආස කලා වැස්සට තෙමෙන්න, වැහි පුසුඹේ සුවද විදින්න. ඒක පෙනහලු මත් කරන්නෙ නෑ කියලා කියන්න පුලුවන් කාටද?

මං ඒක ආයෙමත් කියනව.ඒක මේ දැන් ඇතිවුන හැගීමක් නෙමෙයි. මං ආසයි වැස්සෙ තෙමෙන්න, බයික් එකේ යන වෙලාවට ඇර, අනිත් හැම වෙලාවටම. ආයෙමත් මං තාර පාර දිහාවට හැරුණා. ආකාහෙන් වැටෙන පුංචි පුංචි වැහි බිංදු තද හයිය තාර පොලොව මතට වැටිලා කුඩු වෙලා බිදෙන හැටි මං බලාන හිටියා. ඒක වෙලාවකට ලස්සනයි, ඒත් ඒ වැහි බිංදුවකට කොච්චරනම් රිදෙනවා ඇත්ද. වෙලාවට ඒවාට කතාකරන්න බැරි, නැතිනං උන් විලාප දෙන හඩ මට උහුලගන්න බැරිවෙන්නත් ඉඩ තිබ්බා. ඈතිං ඉදහිට එන වාහනයක දඩ ලයිට් එලිය පාර එලිය කරන හැටි මං දැක්කේ පරණ චිත්තරපටි කෑල්ලක් වගේ. මගේ හිත කෙහේදො සමාන්තර ලෝකෙකට ඇදිලා ගියා.

මේකට හරියන්නෙ පරණ මයිනර් එකක්, නෑ... ලාන්සරේකුත් නරකම නෑ. හැබැයි ඒක ටැක්සියක් වෙන්නත් ඕනෙ. තාර පාර දිගේ එන ටැක්සිය ඈත වංගුවෙන් මෙහාට ඇවිත් ගොඩනැගිල්ලක් ලග නතර වෙනවා. ඒක පරණ තාලෙ කඩමණ්ඩියක්. ඇදිරි වැටිච්ච පරිසරයට වැටෙන වැහි බිංදුයි, තෙත් වෙලා තියෙන පාරයි ඒ මොමන්ට් එකට සිනෙමැටික් ගතියක් එක් කරනවා. කාර් එකෙන් ඉස්සෙල්ලම බහින්නෙ කෝට් එකක් ඇදගත්ත මනුස්සයෙක්, විසාල කුඩේකුත් ඉහලගෙනම. ඊටත් පස්සෙ අපි දකින්නෙ වෙනම කෝණයක්. නිරුවත් දෙපා යුගලක් අඩි උස පාවහන් එක්ක. ඒක කාන්තාවකගෙ කියලා කියන්න අමුතු ආලවට්ටං ඕනෙ නෑ. ඒ සරාගී ගතිය අපිට දැනෙන්නම ඕනෙ. ඒ දෙපා සීරුවට කාරෙකෙන් උස්සලා තෙත පොලොවට තියන්නෙ අපේ හදගැස්ම දඩබඩ ගාලා අවුල් කරලමයි. ඊටපස්සෙ කැමරාව පොඩ්ඩ පොඩ්ඩ උඩට යනවා. ඇගේ පාද වල ඉදං සීරුවට, කලු පාට සායත් පහුකරගෙන උඩට...

නෑ, උඹට ඇගේ පයොදර බලන්න ලැබෙන්න විදියක් නෑ. උඹ එහෙම හිතාගෙන ඉන්නවනං, ආපහු හැරිලා යමං... නැතිනම්... ටිකක් ඉදහං. කාර් එක හිමීට ආපහු යනවා. ඉදහිට කුඩයක් ගත්ත මනුස්සයෙක් දෙන්නෙක් පාරෙ එහාට මෙහාට යනවා පේනවා. උන්ට අර දෙන්න ගැන ගානක්වත් නෑ, මොකටද? මිනිස්සුන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා, කල්පනා කරන්න. පාරෙ ඉන්න කවුරුත් ගැන හිතනවට වඩා.
ආයෙත් කැමරා කෝණය කතානායක දෙසට. මනුස්සය කුඩේ අල්ලගෙන ඉන්නවා. කාන්තාව ඔහුගෙ අත බදාගෙන කතාවක. හරියට මුලු ලෝකෙම අැගේ අයිතියට ගත්තා වගේ. තත්පර කීපයකට සැරයක්ම ඇහෙන කිංකිනි හිනා හඩ, ඈ සතුටින් කියන්න තවත් සාක්කි ඔනෑ නෑ කියනවා... වැහි බිංදු තාමත් හීනියට වැටෙනවා, ඉදහිට තාමත් වාහන පාරෙ යනවා, මිනිස්සුත් හදිසියෙන් වගේ කුඩ අරගෙන දුවනවා. ඈ... නිදහසේ කතාකරනවා. ඒක හරිම රොමෑන්තික නැද්ද? ඒත් කවදාවක් එයාලා කතාකලේ මොනවද කියලා අපි දැනගන්න එකක් නෑ. ඒක හැමදාමත් රහසක් විදියට තියේවි, හැමදාමත්...

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්

තනිවම වත් යන්නට මදි

කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා

28/10/2020

ආදරේ කියන්නේ...

අතකින් අල්ලන්න....
එක කුඩයක් අස්සේ ගෑවී නොගෑවී යනඑකට..

උරහිසට උරහිස වදිද්දී..
දැනෙන ඒ හැඟීමෙන්...
ආත්මයම පුරවන්එකට

පුංචි කන් පෙත්තක් කොනිත්තනවිට...
එකම එක නෝක්කාඩු බැල්මකින්..
ජීවිතේටම ගිණිතියාගන්න හිතෙන එකට...

ඇත්තටම ආද⁣රේ කියන්නේ..
ඔය හැම ආසාවක්ම..
පපුව අස්සේ හංගන් ඉන්න එකට
අහිමි වුණාට මොකද...
හීන තියෙන්නේ..ඇස් අස්සේ තියන් රකින්න..

කව්රුත්ම නැති තැනකදී හිමිහිට පාත්වෙලා නළල ඉඹින්න..

හැමෝම ආස ඇති කුළුදුල්ම හාදුව මොන රහයිද බලන්න..

කොහේ හරි බංකුවක් උඩ වාඩිවෙලා..ඉවරයක් නැතුව කියවද්දී..
කවදා හරි දැනිලා තියෙනවද..
හුස්මෙන් හුස්මට උස් පහත් වෙන ළැමදක..
ජීවිතේම..හංගගෙන.මැරිලා යන්න..

ඔව්.. ආදරේ කියන්නේ මොන තරම් දරුණු මිනිහෙක් වුණත්..බොළඳ කරන මන්තරේකට...
පිටු ගණන් මැසේජ් ටයිප් කරලා ඩිලිට් කරපු වාර ගණන මතකද?..

දෙන්න පුළුවන් හොදම තෑග්ග⁣ තෝරලා අතේ සල්ලි නැතුව ආපහු හැරුණු තැන් මතකද?..

බස් හෝල්ට් එකක් ළගට වෙලා එයා එනකන් පැය ගණන් කටු කාපු හැටි මතකද?..

අහම්බෙන් හරි ඒ මුණ දැක්කම පපුව වේගෙන් ගැහුණ හැටි මතකද.?...

ආදරේ කියන්නෙම..ජීවිතේ දික්ගස්සන..බෙහෙතකට...

ආදරෙයි නොකියා..කවදාමහරි දැනෙයි කියලා ඉවසුවා නේද?...

අපේ නොවුණත් ඒ දැනුණු හැඟීමට මහ පෙරේතකමකින්.හිටියා නේද?...

හොරෙන් උස්සගෙන යන්න හිතුණ වාර..පන්කෝටියටත් වඩා වැඩී නේද?..
ඔව් ආදරේ හැටි එහෙමයි...❤

සිතේ පෙම් පුරා..❤❤

සිතේ පෙම් පුරා මෙතරම්...
මොටද මහ මෙරාක් බරනම්...
මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ ..
පෑල දොරින් හෝ එයිනම්....
බාර ගනිමි රාන්කද දැන්..
මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්....
කොයි තරම් අනේ සොදුරුද..
ප්‍රේමවන්තනම්...

පැලේ දැල්වෙනා පහනක්
මෙන් සිනාසුනේ
නුබේ රුව තමයි තිබුනේ ලංවෙලා හදේ
දුරින් හිද බලා ඉන්නම්
දුරින් පෙනෙන රු රහසින්
මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්....
කොයි තරම් අනේ සොදුරුද..
ප්‍රේමවන්තනම්...

ඉදි මං මොනා කීවත්..
දන්නේ නැ වගේ..
කතා බහා ගොළුයි නුඹගේ..
ඉන්නේ බැ වගේ..
බලෙන් හරි ලබා ගන්නම්
සිහින් ඉග වනා තරහින්
මංද බං නූඹේ ගොරහැඩි.. ආලවන්තකම්....
කොයි තරම් අනේ සොදුරුද..
ප්‍රේමවන්තනම්...

අදාළ ඇත්තෝ කියවත්වා!_______________________________________ සුවහසක් ආදරවන්තයින්ගේ අමතක නොවෙන ගලෙහි කෙටූ අකුරක් බඳු සිහිව...
07/07/2020

අදාළ ඇත්තෝ කියවත්වා!
_______________________________________

සුවහසක් ආදරවන්තයින්ගේ අමතක නොවෙන ගලෙහි කෙටූ අකුරක් බඳු සිහිවටනය නම් සිය ප්‍රථම ප්‍රේමයයි.ප්‍රථම ප්‍රේමය අවසන් පෙම කරගත්තන් අතළොස්සකි.ඔවුහු නමින් වාසනාවන්තයෝ ය.නමුත් එම වාසනාව රැඳුණ අතළොස්සට පරිබාහිර ඇත්තන් සිය පළමු පෙම මතකයෙන් චුත කිරීම ට නොගන්නා උත්සහයක් නැත. නමුත් එය අසීරු කටයුත්තකි.බොහෝ දුරට කළ නොහැක්කකි.ඇතැම්හු ප්‍රථම ප්‍රේමයේ නාමයෙන් සිය ඕනෑ එපාකම් සියල්ල ඉටුකර ගැනීමට පෙළඹෙති.වැඩි වශයෙන් මෙලෙස විවිධ වූ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට යන්නේ පුරුෂ පක්ෂය බව කණගාටුවෙන් හා ලැජ්ජාවෙන් යුතුව කිව යුතුය.එසේ වන්නවුන් සමස්ත පුරුෂ පක්ෂය ට ම නින්දාවකි.කෙසේ වෙතත් ප්‍රථම ප්‍රේමය මතකයෙන් ටික ටික හෝ පහකර ගැනීමට ඇති මාර්ගවලින් වටිනා කියන මාර්ගය නම් අවසාන ප්‍රේමය ගැන සිතීමයි.අවසාන ප්‍රේමයෙහි අවසානයක් වේනම් එය විවාහයයි.

සිය පළමු පෙම විවාහයෙන් කෙළවර නොවුන අවස්ථා එමටය.නමුත් එය විඳ දරා ගැනීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ට ම පොදු වූවකි.යට කී පරිදි අවසන් පෙම ගැන සිතා සතුටු වීමට අප උත්සහ ගත යුතුය.ගී මල් ගොමුවක් අතරින් හෙමි හෙමින් ගමන් කරන මොහොතක මෙ කියන ගීතය නෙත ගැටුණේ ප්‍රථම ප්‍රේමයේ වෙන්වීම කොතරම් සංයමයෙන් භාරගන්නා උත්තුංග පෙම්වතුන් පෙම්වතියන් සිටින බව පසක් කිරීමට ය.

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුඳුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිව් කොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුඳුලේ පිපි ප්‍රේමයක්

නෙත් සරින් නෙතුවලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණු ප්‍රේමයක්

පද රචනය :රසික ඩී. දුමින්ද
සංගීතය : දර්ශන වික්‍රමතුංග
ගායනය : චන්දන ලියනආරච්චි

යොවුන් විය පසුකළ බොහෝ ඇත්තන්ට ප්‍රේමයේ හෙවණැල්ල වැටෙන්නේ ඔවුන්ටත් නොදැනී ම ය.කතා නායකයා ට ද එවැනි ම ප්‍රේමයක් තිබී ඇත.ඔහු කුළුඳුලේ පිපි ප්‍රේමයක් යනුවෙන් අර්ථ ගන්වන්නට ඇත්තේ එම ප්‍රථම ප්‍රේමය විය යුතුය.සිය පෙර මතකයන් ආවාට ගියාට අමතක කළ නොහැක.ඒවා එතරම් ප්‍රබල මතකයන් ය.ඕනෑම කෙනෙකුට බිඳී ගිය ආදරයේ සිහිවටන කොතෙකුත් උත්සහ කළ ද අමතක කිරීම අපහසු කටයුත්තකි.එම මතකයන් ඇත්තේ අන් කවර තැනකවත් නොව හිතෙහි ඇති ගැඹුරු ම තැන ය.ලේසියෙන් පහසුවෙන් ඒවා ඉවත්කළ නොහැක්කේ එබැවිනි.

කථකයාට මෙන් ම අප ට ද පෙම් කරන සමයේ,විශේෂයෙන් පෙම් කිරීමට පටන් ගත් සමයේ රැයක් දවාලක් නැත.සෑම මොහොතක් ම ආදරණීය මොහොතකි.මෙලෙස සිය ප්‍රථම කුළුඳුල් ප්‍රේමය වෙනුවෙන් රෑ දවල් නොබලා සෙනෙහස පමණක් වපුළ සමහරුන්ට ප්‍රේමයේ වියෝව දරාගත නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ.මන්ද ඔවුන් සැබවින් ම ප්‍රේම කර ඇති නිසාවෙනි.මෙම ගීතයෙහි අපට හමුවන පෙම්වතා විශිෂ්ටයෙකු යැයි පැවසිය හැක්කේ ප්‍රේමයේ වෙන්වීම ඔහු සාවධාන ලෙස විඳ දරාගත් නිසාය.එම මතකයන් සිතෙන් පහ කිරීම බොහෝ බැරෑරුම් කටයුත්තකි.අපගේ ජීවිතයට නෙක නෙක වර්ණයේ හීන දුන් අය එසේ අමතක කරන්නේ කෙසේ ද යන පැනය නිරතුරු ගීතය පුරා මෙලෙස රැව් දෙන්නේ රැවටීමකින් තොර ව පෙම් කළ උන්ගේ අභිමානය කියාපාන්නට මෙනි.

බොහෝ පෙම්වතුන් පෙම්වතියන් සිය අදහස් හැඟීම් ප්‍රකට කිරීම සඳහා බොහෝ විට යොදාගන්නේ අක්ෂි භාෂාවයි.ඇස්වලින් කතා කිරීම කොතරම් අපූරු ද යන්න මෙලෙසයි කියා පැවසීම ට නොහැක්කකි.එය එතරම් සුන්දරය.ඇස්වලින් කතා කළෝ ඒ බව හොඳින් ම දනිති.මලවි මල් දුන්නෙන් හී සර එවීමට පටන් ගත්බව අපට දනවන ඉඟියක් ලෙස ද මෙය හැඳින්වූවා ට වරදක් නැත.මෙලෙස ඇස්වලින් කතාකර ඇරඹි පෙම කිසි දිනක වෙන් නොවේවා යන්න සැමගේ එක ම පැතුමයි.කථකයා ද එලෙස ම සිතා ඇත.ඔහුගේ බලාපොරොත්තු ව වී ඇත්තේ ද සැමදා එකට සතුටින් සිටීමයි.නමුත් පුවක් ගසකට නැංග ද දෙබලක් හමුවන වාසනාවන්තයන් සිටී කථකයා ද එවැන්නෙකි.ඔහුත් කිසිදා නොසිතන්නට ඇති සිය පෙම්වතිය තමා හැරයන බවක්.

ඔහු ඇයට බනින්නේ නැත වෛර කරන්නේ ද නැත.ඔහුට මැරෙන්නට අවැසියැයි කියන්නේ ද නැත. පොළවෙහි පස් කකා හඬා වැළපෙන්නේ ද නැත. ඔහු මේ සියල්ල සංයමයෙන් යුතුව දරා ගන්නේ ප්‍රේමය ඇත්තේ තදින් බදාගත් තැන නොව යන්නට දී අත් හළ තැන බව නැවත නැවතත් සිහි කැඳවමිනි.

හිතෙහි හටගත් ප්‍රේමයක් කිසි දිනෙක මැරෙන්නේ නැත.එය මුලින් කී පරිදි හදේ ගැඹුරු ම තැන හෙමි හෙමින් සක්මන් කරමින් සිටී.අදටත් හෙටටත් එය එසේම ය.

එය නමින් ප්‍රේමයයි....

වැරදි අඩුපාඩු මගහැරුණු තැන් ඇතොත් කියා දෙන්න.

අප හමුවුවත් නොවුනත්................අප හමුවුවත් නොවුනත්කාලය ගතවී යනවාඅප තනි වුවත් නොවුනත්ලොව එක සේ පවතිනවා...ලොව මල් පිබි...
07/07/2020

අප හමුවුවත් නොවුනත්................
අප හමුවුවත් නොවුනත්
කාලය ගතවී යනවා
අප තනි වුවත් නොවුනත්
ලොව එක සේ පවතිනවා...

ලොව මල් පිබිදින්නේ
යළි පරවෙන්නට නම්
අප හදවත් එක් වන්නේත්
වෙන් වන්නට නම්
යළි වෙන් වන්නට නම්

අප හමුවුවත් නොවුනත්....

පෙරුම් පුරා හමු වන්නේත්
දිගු කලෙකින් නම්
හමුවුවත් යළි සැනෙකින්
වෙන් වී යයි නම්
අප යළි තනි වේ නම්......................

 #මුතු_කුඩ_ඉහලන  #මල්_වරුසාවේ ....... 🎵🎵🎵වෙලාව හවස හතර හමාර උනාට හතට විතර වෙලා වගේ..ඒ තරමටම කලුවරයි.කඩිමුඩියේ ඔෆිස් එකෙන...
02/06/2020

#මුතු_කුඩ_ඉහලන
#මල්_වරුසාවේ ....... 🎵🎵🎵

වෙලාව හවස හතර හමාර උනාට හතට විතර වෙලා වගේ..ඒ තරමටම කලුවරයි.කඩිමුඩියේ ඔෆිස් එකෙන් එළියට ආවේ වැස්සට කලින් ගෙදර යන්න හිතාගෙන..අම්මත් මග බලන් ඇති දැන්..එහෙම හිත හිත පාර දිගේ ඇවිදගෙන ආවේ මම..නුවරට වහිනකොට හරි ලස්සනයි..⁣බහිරව කන්ද.අලගල්ල කන්ද...හන්තානෙ කන්ද..හැම පැත්තම කළුවරින් පිරිලා......හන්තාන කන්ද අද ඉදුණ දංගෙඩියක් වගේ ඒ තරමට කළු වළාකුලින් වැහිලා...වැහිලේන්නු ටිකත් අද කලබලෙන් එහෙ මෙහෙ ඉගිලෙනවා වැස්ස අත ලඟ වගේ.........
එහෙම හිතුවා විතරයි..පුංචි පුංචි සිරිපොද වැටෙන්න ගත්තා..මම හනිකට කුඩේ ඉහල ගත්තෙ වැස්සට හිතෙන් බැන බැන....................ඒත්..කැම්පස් යන කාලෙනම් වැස්ස වහිනකොට හරිම ආසයි..මම විතරක් නෙවෙයි ඔයත්...මම කුඩේ ඉහලගෙන වැස්සෙම පියවර මනින අතර ඇය සිහි උනා..
අපි හැමදාම ලෙක්චර්ස් ඉවර වෙලා කැම්පස් එකේ ඉදන් ඇවිදන් එනවා නුවර පැත්තට.. ඒ ඇයට ගෙදර යන්න බස් එකක් එනතුරු..සමහර වෙලාවට බස් එකක් ආවත් නගින්න වගක් නෑ ඇයට..අනේ අනිත් එකේ යන්නම්...ඇය කියනවා..පරක්කු වෙලා ගෙදරින් බැන්නොත් මම නෑ හොදද..හරි හරි මමනෙ බැනුම් අහන්නෙ..
ඔයා නෙවෙයිනෙ..ඇය ආදරෙන් මම දිහා බලලා එහෙම කියනවා...
සමහර දවසට ලෙක්චර්ස් ඉවර වෙනකොට වැස්ස..එදාට ඇය හරිම සතුටින් ඉන්නෙ..
යමු...අයියෙ...
කොහෙද...
ඇවිදගෙන........
මේ වැස්සේ...
ඔව්...............
කුඩේ තියනවා..යමු..ඉතිං............
ඇයට ඉවසිල්ලක් නෑ.............
මාත් එක්ක කුඩේ යටින් යන්න..අපි දෙන්න තෙමීගෙන කුඩේ යටින් යනවා බස් හෝල්ට් එකට. අපිට පිස්සු නේද.අයියෙ..ඇය අහනවා.
ඇයි.................
නෑ ඉතිං වැස්ස පායනකම් ඉදල එන්න තිබුණනෙ අයියෙ අපිට...ඇය කියන්නෙ බොරුවට .ඒකනේ. ඊලග දවසෙ එහෙමකරමු..
අනේ..........ඇයගෙ නෝක්කාඩුව.
මම දන්නවා එයාට ඕනෙ කුඩේ යටින් කියවා කියවා මාත් එක්ක ඇවිදන් යන්න කියලා...
අපි දෙන්නගෙ ගෙවල් අතර දුර කිලෝ මීටර තුනක් විතර.
මහා දුරක යන්න වගේ නේද......
තෙමීගෙන නහින්නෙ අපි
ඇය ආයෙමත් කියවනවා..
මේ ලස්සන අතීතයත් එන්න මම නුවර වැව ලඟ බස් හෝල්ට් එකටමආවා..එතන හෝල්ට් එක උනාට කිසිම ආවරණයක් නෑ..ඒ හින්ද වෙන්න ඇති කවුරුවත් හෝල්ට් එකෙත් නෑ මම විතරක් තෙමි තෙමී.........
මට ආයෙමත් ඇයව සිහිවුනා..වැස්ස කියන්නෙ හරි පුදුම දෙයක් ..........වැස්සට පුළුවන් මිනිස්සුන්ගෙ අතීතය මතක් කරල දෙන්න...
අපි දෙන්න අපේ ආදරයට තිත තියලා දැන් අවුරුද්දක් විතර..ඒ..එයාලගෙ දෙමව්පියන්ගෙ බහට ඇයට අවනත වෙන්න උන හින්දා..ඇගේ මස්සිනා කෙනෙක් ඇයට විවාහ යෝජනාව ගෙනත් තිබුනෙ ඇය කැම්පස් ඉවර වෙන්නක් කලින්..දේපල වත් පොහොසත්කමින් අපි අහස පොලව වගේ ..ඒත්. .........ඇයගෙ ගතිගුණ හරිම සාමාන්‍යයි. ඇයට ඕනෙ උනේ ආදරේ විතරමයි. ඒත් දෙමාපියන්ගෙ එකම දරුවා ඇය...එයාට දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න උනා.. ඇගේ ආදරේ බිල්ලට දීලා...
කීප දවසකදිම මම දැක්කා ඇය ඇගේ අලුත් ආදරවන්තයත් එක්ක කාර් එකේ යනහැටි..ඒත් ඇය මාව දැක්කෙ නැහැ..ඒ නොදුටු එකත් කොයිතරම් දෙයක්ද.........
තාම බස් එකක් නෑ..පාරදිගේ ගලාගෙන යන වතුර බොරම බොරපාට..අකුණු ගහන කොට වැටෙන එලිය හින්ද ඒ වතුර එක එක පාට වෙනවා වෙලාවකට දේදුන්නක් වගේ... අද වැස්ස හින්ද බස් එහා පාරෙන් යනවා ඇති.. මට එහෙම හිතුන හින්ද පාරට බැස්සෙ ස්ටෑන්ඩ් එක පැත්තට යන්න හිතාගෙන පාර පනින්න..වැස්සත් එක්ක වාහනත් අඩුවෙලා. පාර පැනලා ඉක්මනට අැවිදගෙන යන්න ඔනෙ හොඳටම කළුවර....එහෙම හිතලා පාරට බැස්සෙ පාර පනින්න.එකපාරමට ආව කාර් එක පුංචි බ්රේක් පාරක් ගැහුවා..මමත් හොදටම බය උනා ඒකට නම්.. බොර වතුරෙන් මාව නෑවුනා. හිතා ගන්න බෑ. ඒත් එක්කම කාර් එකේ වීදුරුව පාත් උනා. අනේ සොරි.. ..
මම එක පාරටම ඒ දෙස බැලුවෙ බොර වතුරෙන් නැහැ වුන මගෙ මුහුණ අතින් පිස දමමින්. කටහඬ වගේම..ඒ ඇස් දෙක ..මුහුණ මට ⁣හොදටම පුරුදු නිසා...ඔයා.............
මට එක පාරටම කියවුනා..
මූනෙ හිනාවක්වත් නැතිව බයෙන් වගේ කාර් එකේ වීදුරුව ඉහලට එසවුනා..පුංචි කඳුලක් මගෙ නෙතේ ...කමක් නෑ...එහෙම කියන කොටත් කාර් එක ඈත නොපෙනීම ගිහින්.. එක දවසක මේ වැස්සෙම අපි අපේ වෙලා හිටියා කියලා කාර් එක දන්නෙ නැහැනෙ..එහෙ ම දැනගෙන උන්න නම් මාව තෙමන එකක් නෑ...බස් ස්ටෑන්ඩ් එකට දුවන මට ඉබේම කියවුනා හෙමිහිට.............

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ..
උඩ ඉගිලෙන විට වැහිලේණී.........
එබී බලා රිය කවුලු දොරින්.........
යටගිය දවසේ
දෑස ගියා ඉගිලී..............

අදුරු ලලා සෙංකඩගල වැස්සේ ...
දිය දහරා ..පාටයි දේදුන්නේ ...
තෙමී තෙමී ..ආදර මධු වැස්සේ....
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ ...............
මුතු කුඩ ඉහලන.........

රිය ඇතුලේ උණුහුම ඔබට තියේ.........
නහවයි මා රියසක මඩ වතුරේ........
නෑ හිත රිදුනේ් අදත් එදා සිහි වී........
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ............

මුතු කුඩ ඉහලන ..........

ගේයපද ..ලුෂන්..බුලත්සිංහල ..
ගායනය /සංගීතය ..රෝහණ වීරසිංහ ...

 ෙමත්_ඇවිදින්.............🎵🎵🎵පවුද්ගලික අද්දැකිමකි…ජංගම දුරකතනය නාදවෙන්න ගත්තු හින්ද රථය පාරෙන් අයිනට කරල නවත්තලා  ආව ඇමත...
01/06/2020

ෙමත්_ඇවිදින්.............🎵🎵🎵

පවුද්ගලික අද්දැකිමකි…

ජංගම දුරකතනය නාදවෙන්න ගත්තු හින්ද රථය පාරෙන් අයිනට කරල නවත්තලා ආව ඇමතුම කාගෙන්ද බැලුවා...හොස්පිටල් එකෙන්...
සර්.........ගුඩ් මෝර්නිං...එහා පැත්තෙන් ඇහුනෙ අපේ රෝහලේ වැඩ කරන වෛද්‍යවරියගේ කටහඩ.
ඔව් කියන්න අනුෂා මිස්....සර් අද මට ටිකක් අසනීපයි.....ටිකක් කලින් යන්න හිතන් ඉන්නෙ..එන ගමන නේද ඉන්නෙ..ඇය අහනවා..
ඔව් මම බලංගොඩ කිට්ටුව ඉන්නෙ
ඒ තරම් වෙලා යන එකක් නෑ..
අමාරු ලෙඩ්ඩු නැහැනෙ නේද..
මම ඉක්මනට එන්නම්...
එහෙම අය නෑ සර් ..
මම වරුවක් ඉන්නවා සර් එන්කකෝ...
හරි..හරි..ඇය දුරකතන ඇමතුම විසන්න්ධි කලා...
අනූෂා මගෙ රෝහලේ ඉන්න දක්ෂ සහ එකම වෛද්‍යවරිය..පිටිසර ග්‍රාමිය රෝහලක් වූ මෙහි වෛද්‍යවරුන් ලෙස සිටියේ අප දෙදෙනා පමනි.. ගැබිණියක් වූ ඇය ලබන මස දරු ප්‍රසූතිය සඳහා නිවාඩු යාමට නියමිතව උන්නාය...
ඇයගේ වැඩ බැලීම සදහා සුදුසු වෛදවරයෙකු හෝ වෛදවරියක් ලබා දෙන ලෙස මා අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කලද මේ දක්වා එයට කිසි ප්‍රතිචායක් ලැබී නොතිබුනි.මෙය මට මෙන්න අැයටද මානසික වදයක් විය...මේ ගැන සොයා බලිය යුතු යැයි මා අැය ඉදිරියේ පැවසූ විට ඇගේ යෝජනාව වූයේ දින දෙකක් නිවාඩු දමා ගෙදර ගොස් ඒ ගැනද කටයුතු සොයා බලා නැවත පැමිනෙන ලෙසය. මම එයට එක පයින් කැමැත්තක් දැක්වුයෙමි. ඒ කඩවත පිහිටි මගේ ගෙදර ගොස් අම්මා අප්පච්චි බලන්නට අතුරු අවස්ථාවක් ලැබීම හේතුවෙනි...රථය බලංගොඩ නගරය පසුකර ඉදිරියට ඇදෙමින් තිබුණි...ලස්සන වෙල්යායත් එක්කම ඈතින් පේන සමනල වැව ජලාශයෙන් ගලා හැලෙන දිය අැල්ල වෙනදාටත් වඩා හැඩය..විශාල ජල කදක් අරගෙන පහලට ගලා හැලෙන දර්ශනයෙන්. මගේ ගත වෙලාගෙන තිබුන වෙහස නැති කරන්න සමත් විය..
ගුරුපාර අයිනට වෙන්න රථය නතර කර ඇල්ල පේන දුරින් නවත්වා බිමට බැස්සේ මෙතැන ජීවිතේ ගොඩක්ම හුරුපුරුදු තැනක් වූ හින්දමයි....මොහොතක් මෙතන නතර වෙලා අතීතයට යන්න....මට ඕනෙ උනා..... මට මතක් උනේ මගේ කැම්පස් ජීවිතේ.
එදා දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද ත් එක්ක කොළඹ වෛද පීඨයට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන....කැම්පස් එකේ ආවේනික ජීවන ⁣රටාවට හුරු වෙන්න අනිත් අයට වගේම මටත් වැඩි කාලයක් ගියෙ නෑ...කාලය ටිකෙන් ටික ගත වෙනකොට අපි කැම්පස් ජීවිතේ තුළ වියපත් වෙම්න් අපි හැමෝම පෙම්වතුන් පෙම්වතියක් බවට පත්වුනා..එහෙම නොවුන කෙනෙක් හිටිය නම් ඒ කලාතුරකින්..නෙතුලිමා............හරි අමුතු නමක්.....
නම වගේමයි ඇයටත් තිබුන අමුතුම ගතිගුණ පෙලක්... ගැමිකම උපතින්ම උරුමව සිටි ඇයට ලස්සන දිගු වලසක් වගේම දිගටි නෙත් සඟලක් හිමිව තිබුනා...අපිත් එක්ක හිටිය අනික් යෙහෙලියන්ට වඩා ඇය මට හරිම විශේෂ චරිතයක් උනා..ඇය හරිම ආදරෙයි සත්තුන්ට..සොබා දහමට...ඇය ඒ පරිසරය විදින්න හරිම ආස කෙනෙක්..සමහර විට අැයට උපතින්ම ලද දෙයක් වෙන්න අැති
ඇගේ අම්මයි අප්පච්චි දෙන්නම ගොවිතැනට යොමු වූ අය.. නාගරික පෙදෙසක ඉපදුනත් මමත් සොබා දහමට ගොඩාක් ඇළුම් කලා
ඒ නිසාම වෙන්න ඇති ඇය ම⁣ට වඩාත්ම ලං උනේ..ලෙක්චර්ස් නැති වෙලාවට අපි හමු උනාම බොහෝ වෙලාවට කතා කලේ සතුන් ගැන..... ගහකොල ගැන....... පරිසරයේ විවිධත්වය ගැන..
යහළු යෙහෙලියන් අතර මම ගොඩක් සුවිශේෂ චරිතයක් උනා...ඒ මගේ පෙනුම වෙන්න ඇති..බොහෝ අය මගේ ආදරය බලාපොරොත්තුවෙන් හිටියා කියලා මම දන්නවා... ඒත් මගේ හිත නැවතුනේ ඇය ලඟ
පසු කලෙක අපි ආදරවන්තයින් බවට පත්උනා ... අපිටවත් නොදැනෙන්න....අපේ ආදරය කැම්පස් එකේ හැමෝම දැන ගත්තා කාලයත් එක්ක..සමහර වෙලාවට මගේ යාළුවො මට විහිලු කලා.... උඹට දඹානෙන් කෙල්ලෙක් සෙට් කර ගන්න තිබුනෙ බං.. උඹ කැමතිම කැලේටනෙ බං...ඇයි බං ගොඩේ කෙල්ලෙක් හොයා ගත්තෙ..උඹ කොළඹත් වෙලා...උන් අහන ඒ හැම වෙලාවකම මම කිව්වෙ මම කැමති එයාගෙ ගැමිකමට කියලා...බලපන්කො තව අවුරුද්දක් විතර යනකොට ගැමි කමට වෙන දේ..කෙල්ලො කොළඹ ආවම වෙනස් වෙනවා බං..සමහරු එහෙම කිව්වා ඒත් මම හිතුවෙ නෑ ඇය එහෙම වෙයි කියලා...
අපේ ඉගෙනීම් කටයුතු එන්න එන්නම සංකීර්ණ උනා.. වෙනද වගේ නිදහස අඩු උනත් ලැබෙන හැම මොහොතකම අපි අපේ ලෝකයේ තනි උනා...මට වගේම ඇයටත් ඕන උනේ ගමක ජීවත් වෙන්න...අපි මැරි කරල කොහේ හරි ලස්සන ගමක ඉඩමක් අරන් ලස්සන ගෙයක් හදමු..අසරණ අය ඉන්න ගමක පුංචි හොස්පිටල් එකක වැඩ කරමු අනේ... අපි දෙන්නම.. හා ද අයියෙ.. ඇය අහනවා..
හා..හා..කන්දක් මුදූනෙ හදමු පුංචි ගේ...මම විහිලු කරනවා වෙලාවකට...
අනේ....විහිලු නෙවෙයි
මම ඇත්තට කියන්නෙ..
මට ගම දාලා නම් යන්න බෑ හොදද....
ඇය මට තරවටු ස්වරූපයෙන් ආදරයෙන් කියනවා..වෙලාවකට.......
අවසාන වසරෙදි ..මම අපේ සම්බන්ධ ය ගැන අම්මාට පැවසූවේ අප්පච්චිටත් පවසා සම්බන්ධ ය තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත...පුතා කැමති කෙනෙකුට අපේ විරුද්ධත්වයක් නෑ පුතා.......
මේ තරම් කාලයක් පුතා අපි කියන දේ ඇහුවනේ..........
ඒ හින්ද පුතාට හොද නම් කමක් නෑ......ඒ ඔවුන්ගේ පිළිතුර විය..........ඇගේ ගෙරින් නම් අපේ පවුල් පසුබිමට කිසිසේත්ම අකමැති නොවන බව ඇය බොහා් අවස්ථා වල පවසා තිබුණි...
කාලයත් එක්කම ඇගේ මොකක්දෝ හිතාගත නොහැකි වෙනසක් මට දැනෙන්නට විය.. මුලින්ම වෙනස් වෙන්න පටන් ගත්තේ ඇගේ ඇදුම් පැළදුම්ය...හැසීරීමද ටිකෙන් ටික නාගරික පරිසරයට සමාන වන්න පටන් ගත්තේය..ඒ ගැන ඇගෙන් ඇසූ විට ඇය පැවසුවේ හැමදාම ⁣ගමේ විදියට ඉන්න බැ අනේ මෙහෙදි..යාළුවොත් විහිලු කරනවා මට.. යනුවෙනි.....ඇයට වෙනත් සම්බන්ධයකට මුලපුරා ඇති බව මගේ යහළුවන්ට දැනුන අවස්ථා මා සමග පැවසූවද මම එය විශ්වාස නොකලෙමි. නෑ ..එයා වෙනස් වෙන්නෙ නෑ මගෙ හිත තදින්ම මට කියයි.මට ඒ බව තදින්ම විශ්වාස වුවද..කාලයක් එක්ක ඇගේ සම්බන්ධය තහවුරු වන සාධක බොහොමයක් මට ලැබුණි. අපි අතර නොයෙක් දේවල් වෙනුවෙන් වචන හුවමාරුවීම් හිත් කලකිරීම් ඇතිවුනි..ඇයට මගෙන් වෙන්වීම ඇවැසි වී ඇති බව මට හැගුණි...
මම බොහෝම වේදනාවෙන් හිත් හදා ගන්න උත්සාහ කරමින් සිටියෙමි...කාලයක් එක්ක අපේ කැම්පස් ජිවිතේ අවසාන දින කීපය එලැඹුන අතර ආදර කතාවේද අවසානය පැමින තිබුණි. ඇය මා හැර දමා.ඇය කැමති නාගරික ගතිගුණ ඇති මගේම යහළුවෙකුගේ පෙම්වතිය වීම දෑසින් දකින්න තරම් අවාසනාවන්ත වුනෙමි.....ඒ සිදුවීම් සියල්ල අතරේම මගේ පලමු පත්වීම ලැබුණේ කොළඹ මහ රෝහලටය..ඇයගේ පලමු පත්වීම රාගම ⁣රෝහලට ලැබුණ බව මට දැන ගන්න ලැබුණි...
කලෙක ඇය මගේ ජීවිතය විය..අදටත් එය එසේමය...එදා සිටි නෙතූට මම අදටත් පෙම්බදිමි..කවදාවත් ඇය මගේ ජීවිතයෙන් ඉවත් කීරීමට මට නොහැකි බව මම දනිමි...හිතට දැනෙන වේදනාව දෙමව්පියන් ගෙන් යහළුවන්ගෙන් වසන් කරගෙන මම මගේ ජීවිතය ගෙවා ගන්නට දැරූ වෙහෙස දන්නේ මා පමණි..වසරකට පසු දුර පලාතකට ස්ථාන මාරුවක් ලබා ගත්තාට අම්මාත් අප්පච්චි ත් කිසිවක් නොකීවෙි ඔවුන් එයට හේතුව දැන සිටි නිසාවෙනි... නිදි නැතිව ගෙවූ රාත්‍රින් කොපමණදැයි මමවත් නොදනිමි..කාලයත් එක්ක ඒ වේදනාව යම් තරමින් අඩුවුවත් ඇය මගේ ජීවිතයෙන් අයින් කරන්නට තරම් ශක්තියක් මට නොතබුණද..අමාරුවෙන් හිත ටිකෙන් ටික සුවපත් කර ගැනීමට උත්සාහ දරමින් ජීවත් උනෙමි.......
කැම්පස් නිවාඩු ලැබෙන සමහර දිනවල අප්පච්චි ගේ මෝටර් රථයෙන් ඇය මෙතැනට එනතුරු එක්කන් එන හැටි මට මේ මොහොතේ මතක් විය.....මෙතැනින් බැස ගුරුපාර දිගේ ඇය නොපෙනී යන තුරු මම බලා සිටි හැටි මට මැවීපෙනෙයි...
අනේ අයියෙ ඔයා තනියම..
ආපහු යන්නෙ කොහොමද
මට දුකයි ......
අනේ..පව් ඔයා ....
මම හින්ද...............ඇය කියවයි
එහෙනම් ආපහු යමු..
කොහෙද..
අපේ ගෙදර.ඇය හිනාවෙයි..
එනවා දවසක..හැබැයි මෙහෙම නෙවෙයි..හරිද
ඇය ආදරයෙන් මදෙස බලා පවසයි..........දුරකථනය නාද වෙන හඩින් මම පියවි ලොවට ආවෙමි..කවුද මේ වෙලාවෙ...
අම්මා..............
පුතා........ගියාද ඔයා................අම්මා අසයි...
නෑ.. අම්මා දැන් ලගයි මම ගිහින් කියන්නම් අනිවාර්යයෙන් .........
පරිස්සමින් පුතා...
ඇය වෙනදාට වඩා මගේ ගැන හොයනවා දැයි මට සිතෙයි.. අමිම දන්නවා මම තාම නෙතූ ගැන දුක් වෙන බව...
පුතා...දැන් ඔව් අමතක කරලා දාන්න .
අපි දැන් වෙන දෙයක් ගැන හිතමු පුතා...ඔයා බුද්ධිමත් ලමයෙක්..නෙ.ඔහොම තමයි ජීවිතේ..........
අපිට ඕන හැම දේම අපිට ලැබෙන්නෙ නෑ..ලද දෙයින් සතුටු වෙන්න ඕනෙ..
ඇය ඊයෙ රෑ මගෙ හිස අත ගගා කිවූ හැටි මට මතක විය.....මම නැවත කල්තොට බලා යන්න පිටත් වුනෙමි...
සතියකට පසු අප රෝහලට අලුත් වෛදවරියක් පත්කර ඇති බව අමාත්‍යාංශයෙන් මා වෙත දනුම් දුන් අතර ඇය ලබන මස පලමුවැනි දින සිට සේවයට පැමිනෙනු ඇති බවත් පවසන ලදි...........පලමු වැනිදා උදේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වයෝවෘද්ධ කාන්තාවක ගේ තත්වය තරමක් අසතුටුදායක මට්ටමට පැමිණ ඇති බව ඊ.සී ජී පරීක්ෂණයෙන් පෙනී ගිය අතර මම ඇයට යුහුසුළුව පුතිකාර කරමින් සිටියෙමි..ඒ අතර ඩොක්ට අනූෂා එතැනට පැමින මට කතා කලේය...
සර් මෙන්න අපි කාලයක් බලන් හිටි
ඩොක්ටර් ඇවිත්..
ලබන සතියෙ ඉදල මම නිවාඩුනෙ......
සර්ට මෙයත් එක්ක තමයි
වැඩ කරන්න වෙන්නෙ එකකොට..ඇය පවසයි..
ආ ඒක හොදයි ..
මම රෝගීයා පරික්ෂා කරන අතරම ඊට ප්‍රතිචාර දැක්වූවෙමි. රෝගියාගේ තත්වයට අනුව මට තත්පරයක් හෝ ඉන් මිදීමට ශක්තියක් නොවීය..
මොකක්ද ඩොක්ට ඔයාගෙ නම...අහන්නත් බැරි උනානෙ...ගම නම් බලංගොඩ කිට්ටුව කිව්වනෙ...
අනූෂා ඇගෙන් අසයි...
නෙතුලිමා මුදලිආරච්චි...............ඇය පවසනු ඇසිනි...මෙහොතකට මට ඒ නම....කටහඩ. සිහිවුනි. එදෙස බැලුනේ නිතැතිනි...
දෙවියනේ.......නෙතූ.....
ඇයද පුදුමයෙනි....
ඔයා ආයෙමත් ආවද...මට එසේ හයියෙන්ම කියවුනා දැයි නොදනිමි..ඇය බිම බලා ගක්තාය...
රෝගීයා පරීක්ෂා කර අවසන් වූ පසු අමාත්‍යාංශයට කතා කර මට කෙසේ හෝ හැකි ඉක්මනින් වෙනත් රෝහලකට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස බැගෑපත් වී හෝ ඉල්ලා සිටින්නට අදිටන් කර ගතිමි...
නෙතූටත් මොනවා සිතුනා දැයි නොදනිමි...
.....................................................................
ඔබ ආයෙමත් ඇවිදින්.......
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.........

උන්නු දා පෙර
අත පොවන්නට බැරි දුරින් ....
නින්ද මට නැති
දවස් තිබුණ ද කොයිතරම් .....
ඔබ නොදැක සිටි ඒ කාලයේ...
හිත හදා ගත්තා විතරමයි.......
ඔබ ආයෙමත් ඇවිදින්........

දෑස් අගමල් පිපී
සැලුනත් කොයිතරම් ........
එක මලක්වත්
සුවඳ නැති විය ඔබ තරම්...
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි..
ඔබ ආයෙමත් ඇවිදින්..........

ගායනය ...අමරසිරි පීරිස් ...

ගේයපද ...ධම්මික බණ්ඩාර ...

තනුව ...ඩැනිස්ටර් පෙරේරා .......

Address

Matara

Telephone

0713348188

Website

Alerts

Be the first to know and let us send you an email when ගී පද - Gee Pada - Lyrics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගී පද - Gee Pada - Lyrics:

Shortcuts

Share