23/01/2026
දරුවන්ව දිනකට පැය තුනකට වඩා වැඩි කාලයක්, ස්ක්‍රීන් එකක් ඉස්සරහ ඉන්න දරුවන්, ඔටිසම් තත්වයේ දී පෙන්වන ලක්ෂණ සමහරක් පෙන්වන්න පටන් ගන්නවා කියලා හඳුනාගෙන තිබෙනවා. මේ තත්ත්වයට තමයි "වර්චුවල් ඔටිසම්" කියලා කියන්නේ.
මෙහිදී ස්ක්‍රීන් එකක් සහිත ටී. වී., ෆෝන්, ටැබ්, පරිගණක සහ ලැප්ටොප් කියන ඩිවයිසස් පහෙන් එකක් හෝ සමඟ, දිනකට පැය තුනකට වඩා කාලයක් ගත කරන දරුවන්ගේ මොළය ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ, මේ දරුවන්ගේ මොළයේ ඇති ශ්වේත ද්‍රව්‍ය(White Matter) සහ ධූසර ද්‍රව්‍ය(Grey Matter) වල යම් වෙනසක් ඇති වී ඇති බවත්, මෙලටොනින් හෝමෝන සාන්ද්‍රනයේත්, ඩොපමින්, GABA, 5-HT සහ ඇසිටයිල්කෝලින් වැනි නියුරෝට්‍රාන්ස්මිටර්ස් වල යම්කිසි අඩුවක් ද, පවතින බවත්ය.
මෙම රසායනික අසමතුලිතතා, දරුවෙක්ගේ කථනය, අවධානය, ඇතුළු අනෙකුත් ප්‍රජානන හැකියා (brain based skills/cognitive abilities) හැසිරීම, නින්ද සහ දරුවගේ චිත්තාවේගයන්(emotions) කෙරේ විශාල බලපෑමක් සිදු කරයි.
මේ හේතුව නිසා, දිනකට පැය තුනකට වඩා වැඩි කාලයක් ඩිජිටල් මාධ්‍යක් ඉදිරියේ ගත කරන දරුවන්ගේ, කථන දුර්වලතා, අවධානය ආශ්‍රිත ගැටලු, හැඟීම් පාලනයේ අපහසුතා, නින්ද ආශ්‍රිත ගැටලු, වචන නැවත නැවත කීමේ ස්වභාවය, ඇසට ඇස බැලීමේ දුර්වලතාවය, නමට ප්‍රතිචාර නොදැක්වීම ඉවසීමේ අඩු බව, ඇතුළු ඔටිසම් දරුවන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ හා සමාන ලක්ෂණ නිරීක්ෂණය කළ හැකිය. ඩිජිටල් මාධ්‍ය සම්පූර්ණයෙන්ම දරුවාගෙන් ඉවත්කර, දරුවා සමග එක්ව වැඩ කිරීම මගින්, කෙටි කාලයකින් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.
හැකි පමණ දරුවා සමඟ එකට ඉන්න. වයස අවුරුදු හතරෙන් පහළ දරුවන් ඩිජිටල් මාධ්‍යයෙන් සම්පුර්ණයෙන්ම ඈත් කර තබන්න.
ඩිජිටල් මාධ්‍ය වෙනුවට දරුවාට තමන්ගේ සියලු සංවේදන ඉන්ද්‍රියන් භාවිතා කරමින් කල හැකි ක්‍රියාකාරකම් හඳුන්වා දෙන්න. ප්ලේ ඩෝ, මැටි, පාප්ප සහ කොල ආදිය යොදා ගනිමින් කළ හැකි ක්‍රියාකාරකම් දරුවාට හුරු කරන්න. ඉන්ටරැක්ටිව් බුක්ස්(Interactive Books), ඇක්ටිවිටි ෆෝල්ඩර්ස්(Activity Folders) දරුවාට සමීප කරන්න. සතියකට දිනක්වත් දරුවාව ඇවිදින්න එක්කරගෙන යන්න. ඒ ගමනේදී දරුවාත් සමග කතා කරන්න, වටපිටාව පෙන්වන්න. දිනකට අවම වශයෙන් පැය බාගයක්වත් දරුවාත් සමග සෙල්ලම් කරන්න. නින්දට පෙර කටහඬ උස් පහත් කරමින් දරුවාට කතන්දර කියා දෙන්න.
ඩිජිටල් මාධ්‍ය දරුවාට කරන හානිය පිළිබඳව, ඔබ රැකියාවට ගිය පසු දරුවා බලාගන්නා ඔබේ දෙමව්පියන්ටත්, ගෙදර උදව්වට සිටින පිරිසටත් විස්තර කර දෙන්න.
වැඩිහිටි අපි ඩිජිටල් මාධ්‍යයක් ඉදිරියේ පැයක් ගතකර පසු, අපේ හැසිරීම කෙබඳුදැයි හැම මොහොතකම හිතන්න. වැඩිහිටි අපගේත් අවධානය අඩු වීමට ඩිජිටල් මාධ්‍ය හේතුවක් වේ නම්, පුංචි දරුවන් ගැන කවර කතාද.
ඔබේ දරුවා "වර්චුවල් ඔටිසම්" තත්ත්වයෙන් වළක්වා ගැනීමේ ලොකුම වගකීම තිබෙන්නේ ඔබ සතුවයි.
එම නිසා, යමක් වූවාට පසු ඊට පිළියම් හොයනවාට වඩා, එය සිදුවීම වළක්වා ගැනීම වටිනා බව මතක තබා ගන්න.
සටහන-
බීනුකා වික්‍රමතුංග
Psychologist /Co-Founder
Prathibha Psychological Rehabilitation and Resource Center
(උපුටාගැනීමකි)