31/07/2026
උපුටා ගැනීම : නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්
Summer Waruni Wasawadaththa Deshapriya
---- 🌷🌙🍃🦋
ඉන්පසු වෙන්ව යාම සිදු විය.
මනමේන්ද්‍රලා ඔහුට බල්ලෙකුට සේ බැන්නෝය. චොදනා කළෝය. ඔවුන්ගේ නැගණියගේ සිත බිඳීම පිළිබඳව වන්දි ගෙවන්නට සිදු වනු ඇතැයි කීවෝය. සහගහනා බවටත් මත පළකළෝය.
අමදර සිටියේ කෝපයෙන් පුපුරා හැළෙමිනි. උපුලන්‍යා අහිමිවිමේ දුකත්, ඇය තමා ප්‍රතික්ෂේප කළාය යන කෝපයත්, මනමේන්ද්‍රලාගේ චෝදනා හමුවේ ඔවුන් මරා දමන්නට තරම් නැගෙනා ආවේගයත් නිසා ඔහු සිත ගල් කරගත්තේය.
දික්කසාදයට ඔහු අත්සන් කළේ මනමේද්‍රලාගේ තර්ජන නිසා නොවේ. ඒ බැව් ඔහු ඔවුනට කෙළින් ම කීවේය.
"උපුල් කියන්නෙ අවුරුදු දෙකකට කිට්ටුවෙන්න මගේ ජීවිතේ බෙදාගත්ත මගෙ ගෑනි. මං ඒකෙ නම්බුව තියනවා. හිවල්ලු කෑ ගැහුවට බය වෙන්න මම කුකුළෙක් නෙවෙයි. මේ බයට සයින් කරනවා නෙවෙයි." අමදර රනිල්කට දැඩි හඬින් කීවේය.
රුවන්ත සහ මනෙල්ක ඔවුන් අතර අරවුලක් ඇතිවන්නට ඉඩ තැබුවේ නැත.
එදා හැන්දෑවේ ඔහු ඔහුට අහිමි වූ ජීවිතයේ මිහිරිම කාලය සිහිකොට මත් වූයේය. කන්තලේ වැව් බැම්ම උඩ වැතිරී අහස දෙස බලාගෙන උපුලන්‍යාට හඬ ගැසුවේය. ඔහුගේ ජීවිතයේ ලැගුම් සොයා එන්නට හේතු විමසුවේය. අතැර දමා යන්නට නම් එතරම් සතුටක් දුන්නේ ඇයි ද කියාත් ඇසුවේය. දරුවා අහිමි වන්නට ඔහුගේ අවාසනාව බලපාන්නට ඇතැයි කියා ඔහු දෙස හැරී නොබලා ම නික්ම යන්නැයි කීවේය. සඳක් සේ බැස ගොස් ඉරක් සේ නැගෙන්නට විවරණ දුන්නේය. සලකුණු නොතබා තරුවක් සේ ඔහුගේ ජිවිතයෙන් බැස යන්නැයි ඉල්ලුවේය. ඔහුට බොහො දුර ඈත අහසක පායා දිදුලන්නැයි කීවේය.
ඇයට ඇය සොයාගෙන ඇගේ සොයුරන්ට ඔවුන් බලාපොරොත්තු වන සතුට දුන්නාට කම් නැත.
ඔහු උපන්නේ ම තනිකම මිට මොළවාගෙන යැයි කියා ඒ වෙනුවෙන් නාඬන්නැයි රුවන්තගෙන් ඉල්ලමින් හැඬුවේය.
"මං ආදරෙයි කියල කිව්වෙ නෑ. ඒක ඇත්ත. මං ඒක සුදූට කිව්වා ඒකත් ඇත්ත. මචං ආදරේ ද නැද්ද කියන එක නෙවෙයි මචං එතන තිබුණේ. ඒ උපුල් නෙ මචං. මගෙ ගෑනි නෙ. එතන නෙ මං ජීවත් වුණේ. අපි දෙන්නෙක් ය කියලා අපි දෙන්නා බෙදිල හිටියෙ නෑ නේ. මං මං වෙලා හිටියා. එයා සතුටින් මං එක්ක හිටියා. ඒ අපේ ගෙදර. අපේ පවුල. ඒ උපුල්නෙ මචං. එහෙම වෙනම හිතන්න ඕන කියල මං හිතුවෙ නෑ. අපි දෙන්නාගෙ ජීවිතේ ඇතුළෙ මං ජීවත් වුණා. මගෙ ජීවිතේ එතන තිබුණෙ රුවා. ඒක ප්‍රශ්නයක් වුණේ කොහොමද මම දන්නෙ නෑ."
"පාළුව දෙවනත් කරලා
නාඩන් උලලේනෝ…..
කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා….
උලලේනෝ …………"
ගීයේ කොටසක් ගයා අමදර උලලේනෙකුට හඬගැසුවේය. ඒ ගීය ඔහු වෙනුවෙන් ම ගැයුවාට කපුගේට ස්තූති කළේය.
ලෝකයේ ඕනෑ ම රටක පිළිගන්නා අධ්‍යාපනයක් ලබා ගන්නට පාර කැපුවාට, ඔහු 'මිනිහෙක්' කළාට මෞලීට නිවන්සුව පැතුවේය. එසැනින් ප්‍රාර්ථනාව අහෝසි කළේය.
තව එක ම එක වරක් ඉපිද අවුත් කවරෙකු වී හෝ ඔහුට ආදරය කරන්නැයි කීවේය. ඔහුට කිසි ම කිසිවක් අවැසි නැතැයි ආදරය බිඳක් දී යන්නැයි කියා එතෙක් නිවන් දකින්නට එපායැයි කීවේය. යළිත් එය අහෝසි කළේය.
"මං මහ අවාසනාවන්ත මිනිහෙක්. මං ළඟට එන්න එපා. අයියලා ගොඩක් ඉන්න මනමේන්ද්‍ර පවුලක ඉපදියං සුදූ. මං ගොඩ දැම්ම පින ම ඇති උඹ ට." යි කියා රුවන්ත දෙස බැලුවේය.
"උඹේ අක්කාට එහෙම වුණේ මං නිසා. මාත් එක්ක තරහ වෙන්න එපා. මං තනි වෙච්ච මිනිහෙක්. මට සමාවෙයන්." කියා දෑත් එකතු කොට ඔහුට වැන්දේය.
රුවන්ත වහා ඔහු බදා වැළැඳ ගත්තේය.
"අඬපන් අමා. අඬල ඕක ඉවර කරපන් කොල්ලෝ. සුදූ මට උඹ බාර දීලා ගියේ. උඹ සඳාගෙ පණ. කොහොමද යකෝ උඹ තනිවෙන්නේ."
රුවන්ත ඔහු වැළැඳ දෙනෙත් පිස්සේය. එවර අමදර සසඳරාට ආදරය දෙනවාට, ඇය රැක බලාගන්නවාට පින් දෙමින් රුවන්තට වැන්දේය.
"මං මහ අවාසනාවන්ත මිනිහෙක්. අපෙ අම්මා, වාසලබණ්ඩාර ඉස්කෝලෙ හාමිනේ කිව්වෙ ඇත්ත. මං කාලකන්නියෙක්. මට දුකයි මචං. මං උපුල්‍ට දුන්නු මගේ වචනෙ තිව්වා. මං මට පුළුවන් හැමදේම කළා. අන්තිමට මාව දාල ගියා. මං මටත් වැඩිය විශ්වාස කරං හිටියෙ මචං. සුදූ ගියාට පස්සෙ දෙයියො බුදුං විශ්වාස නොකළ මං උපුල් විශ්වාස කළා. ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. උපුල් ළඟ ඉද්දි හැමදේම හරියට තිබුණා. මට තිබුණෙ ජීවත් වෙන්න විතරයි. උපුල් නැතුව ජීවත් වෙන හැටි මට මතක නෑ මචං."
ඔහු ඉකි ගසමින් හැඬුවේය. නිවෙසට ගිය කළ බිළිඳියට කිරි දෙමින් සිටි සසඳරාත් හඬමින් සිටියාය. අමදර ඇගේ දෙපා මුළ බිම වාඩි වී ඇගේ උකුළේ හිස තබා ගත්තේය. ඔළුව අතගාන්නැයි කීවේය.
"ඔළුව අතගාපන් සඳා. මගෙ අම්මා. මට උඹ විතරයි ඉතිරි වුණේ." යි කියා හැඬුවේය.
යළි කිසිදාක නාඬන්නෙමැයි කියා හඬන සසඳරාට පොරොන්දු වෙමින් හැඬුවේය.
අහිමිව ගිය පුතු ගැන කියමින්, සසඳරා අත සිටි බිළිඳියගේ සිඟිති දෙපා සිඹිමින්, ඔහුගේ බිළිඳු පුතුගේ සීතල සිඟිති පතුල් සිහි කරමින් හැඬුවේය.
"මම මගෙ අත්දෙකින් ඒ පෙට්ටියෙ වළෙන් තිබ්බෙ සඳා.....මටත් එක්ක තව කොල්ලෙක් හදපං. උං ආදරෙං හදපං. මමාටත් ආදරේ කරන්න කියපං උන්ට. උන්ගෙ කාත් කවුරුත් නැති අමා මාමා කියල මට ආදරේ කරන්න කියපං."
අමදර ඉකිබින්දේය. සැනසෙන්නට තමාට ඉතිරිව ඇතැයි ඔහු සිතනා එක ම තැන, සසඳරාගේ උකුළේ හිස ගසාගෙන හැඬුවේය.
"මූට උපුල් මෙච්චර වැදිලා ඉන්නෙ කියල මම කවදාවත් හිතුවෙ නෑ සඳා." රුවන්ත කීවේය.
"එහෙම නෙවෙයි නම් අමා උපුල් හරම දෑහෙ මූණෙ තියාගෙන, බබෙක් වගෙ බලා ගන්නෙ නෑ රුවා. ඒ ආදරේ උපුල් විතරක් නෙවෙයි ඕන ගෑනියෙක් ආදරේ වෙන ආදරයක්. අමාගෙ වැරදි තිබුණා. ඒත් හිටි ගමන් මෙහෙම දාලා යන්න හේතුවක් මට පේන්නෙ නෑ. එයාගෙ අයියලා මොනවාහරි බලපෑමක් කරා ද කියල හිතෙනවා." සසඳරා කීවාය.
"පිස්සු ද? එහෙනම් බඳින්න දෙන්නෙත් නෑ සඳා."
"මම කියන්නෙ නංගාත් දෙයක් ඕන වුණොත් ඕන වුණාමයි කියල කියන නිසා එයාලා මුලින් කැමති වුණා ද දන්නෙ නෑ නෙ. පස්සෙ එපා කරවල අයිං කරගන්න."
"ඔය විකාර අමාගෙ ඔළුවට දාන්න එපා සඳා. එහෙම ඕන වුණා නම් ළමයෙකුත් හදාගෙන මෙච්චර දුර එනකම් ඉන්නෙ නෑ."
සසඳරා හිස පිරිමදින සුවයත්, මත් බවත් නිසා නින්දත් නොනිදත් අතරේ තැනක හුන් අමදර එයට පිළිතුරු දුන්නේය.
"උපුල් වෙනස් වුණේ ටික ටික. මගෙ ඇස් ඉස්සරහා. උපුල් බබාලට හරි ආදරෙයි. සෑහෙන දේවල් හිතේ තිබුණා. ඒ බබාට පස්සෙ තව කෙනෙක් ගේන්න ඕන කියලත් කිව්වා...."
අමදර මදක් නිහඬව සිටියේය. අතීතයේ සොඳුරු දිනක් සිහි කළේය.
"බබා නැති වුණෙ මගෙ නොලැබීමට කියල හිතෙන්න ඇති."
"පිස්සුද අමා. බබා නැති වුණාට එහෙම හිතන්නෙ කොහොම ද? තව බබාල හදන්න තිබුණා. නංගාට වයස තියෙනවා."
"උඹ දන්නෙ නෑ සඳා..." කී අමදර කතාව නැවැත්වූයේය. ඔහුගේ හාදුවකටත් සිරුර දරදඬු කරනා ඇය මතකයට පැමිණෙනු වළකන්නට උත්සාහ කළේය.
අනතුරුව වේදනාවෙන්ද, ළතැවුමෙන් ද, රිදුම් සහ හුදෙකලාවෙන් ද කමිපිත වූ ස්වරයක් උලලේනෙකුට හඬ ගැසුවේය.
"සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ .......
උලලේනෝ ......."
(ගායනය : විශාරද ගුණදාස කපුගේ මහතා)
.........................................................................
ඇණවුම් කිරීමට
Watsapp 075 052 1312